-->

Billboard Ads

කොළඹ මාර්ග හතරක ක්‍රියාත්මක වන බස් ප්‍රමුඛතා මංතීරු නීතිය වර්තමානයට ගැළපෙන නීතියක් බැවින්, මාර්ග තදබදය තිබෙන සෑම මාර්ගයකටම මෙම නීතිය හඳුන්වාදිය යුතු බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමය සඳහන් කරයි.විනයගරුක රියැදුරෙකු බිහිකිරීම තුළින් බොහෝ ගැටලුවලට විසඳුම් ලැබෙන බවත්, මේ නිසා බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සේම රටේ පවතින මාර්ග නීති අකුරටම රට තුළ ක්‍රියාත්මක විය යුතු බවද එම සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේය. විනයගරුක නොවන රියැදුරන් නිසා මාර්ග තදබදය, රිය අනතුරු වැනි දේවල් සිදුවන බැවින් නීතිගරුකව කටයුතු කරන රියදුරන් පවා දැඩි අපහසුතාවට පත්වන බවද පවසා සිටියේය. බස් ප්‍රමුඛතා මංතීරු නීතිය නිසා ක්‍රමක්‍රමයෙන් මාර්ග තදබදය අඩුවන බව පෙනී යන හෙයින්, මාර්ග තදබදය පවතින අනෙකුත් මාර්ගවලටද මෙම ක්‍රමය හඳුන්වා දිය යුතු බවද සඳහන් කළේය.

පවතින නීතියට අනුව බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක වන මාර්ග හතර තුළ ගමන් කරන ත්‍රිරෝද රථ කිසිඳු ගැටලුවක් නොමැතිව මගීන්ට අවශ්‍ය සේවා සැපයීම සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

- ඉන්දික හේවාවිතාරණ -