1897 අංක 3 දරන නිරෝධායන, රෝග ස්පර්ශකයන් වෙන්කර තැබීමේ සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනතට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පරිශ්‍රයට ඇතුළු වීමට, වැරැදිකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ නඩු පැවැරීමට බලතල තිබෙන බව නීතිපතිට දෙපාර්තමේන්තුව එම සාකච්ඡාවේදී පැහැදිලි කළ අතර එය සෞඛ්‍ය බලධාරින් පිළිගැනීම නිසා ගැටලුව විසඳුන බව ද සභාපතිවරයා කීය.
මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ට ඇති බලතල අනුව යම් නඩු පැවැරීමකදී ඒ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් විමසා සිදු කිරීමටත් එහිදී යම් පරස්පරතාවක් ඇති වුවහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විමසා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමය එම සාකච්ඡාවේදී එකගතාව පළ කළ බවය.රාජකාරි කිරීමේදී නිරෝධායන රෝග ස්පර්ශකයන් සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනත උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීමට ද එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එකග වූ බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ කීය.
"මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යම් නඩු කටයුත්තකට යනවානම් එහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ එකගතාව ලබාගන්නා ලෙසත් ඉන් ඔබ්බට ගැටලුවක් තිබෙනවා නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් එහිදී එකගතාව හිමිවුණා. මෙම 1897 පළකරනු ලැබූ ආඥා පනත තුළ ශක්‍යතාවක් තිබෙනවා වත්ම ඇතැම් තැන්වල සුළු ගැටලු තිබෙනවා. ඒවා කාලීනව වෙනස් විය යුතුයි. මෙහිදී ඉදිරියේදී පත්වන පාර්ලිමේන්තුව හරහා මෙම ආඥා පනතේ සංශෝධන ඇති කිරීම කෙරෙහි අවධානය යොමුවුණා."
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අදහස් දක්වමින් මෙසේ කීය.
"සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් කියන්නේ එක පවුලක් වගේ වැඩ කළ යුතු තැනක්. එහි විශේෂ සාමාජිකයෙක් තමයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියන්නේ. එහිදී ඔවුන්ට නායකත්වය දෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන්. ඒ අනුව අද දිනයේ එකගතාවකට පැමිණියා ආඥා පනත කිසිවක් උල්ලංඝණය නොවන පරිදි පවතින නීති රාමුව යටතේ නීතිපතිතුමාගේ උපදෙස් පරිදි ඒ සියල්ල සැලකිල්ලට ගෙන නීති කිසිවක් සංශෝධනය නොකර කොවිඩ් පාලන කටයුතු සහ මැතිවරණ සෞඛ්‍ය නීති සම්බන්ධයෙන් කටයුතු කිරීමට. කණ්ඩායමක් හැටියට ඉදිරියේදී පැරැණ පනත් යාවත්කාලීන කරලා වර්තමානයට ගැළපෙන ලෙස මහජන සෞඛ්‍ය සේවාව කාර්යක්ෂමව සිදු කරගෙන යාමට අවශ්‍ය ලෙස සකස් කරගැනීමටත් මෙහිදී එකඟතාවකට පැමිණියා. කණ්ඩායමක් හැටියට ඒකාබද්ධව ඉදිරියට කටයුතු කරන්න සියලු දෙනා අද දිනයේ එකග වුණා."අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ නීති නිලධාරි ආර්. අහමඩ්, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා සහ රජයේ නීතිඥ ඉන්දුනී පුංචිහේවා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පරාක්‍රම වර්ණසුරිය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහත්ම මහත්මීහුද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිත පිරිසක්ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
(රංජන් කස්තුරි)